ලොක්කෙගෙන් අප්පච්චිට...



රට්ටුංගෙං යන යන තැන නෙක නෙක ඔච්චං වෙච්චී
උඹ ගිය තැන අපි තුං දෙන බිත්ති හතරෙ තනි වෙච්චී
කටට ගන්ට බැරි බත් කට පැංචිගෙ කඳුලින් හිච්චී
ලුණු රහ වැඩි වෙලාලු මට දරන්ට බෑ අප්පච්චී

මද්දුමීට මක් වෙලාද මං දන්නෑ අප්පච්චී
ගෙං එළියට එන්නෙත් නෑ දැං තුං දවසක් වෙච්චී
⁣දැක්ක හොරෙං එ්කිත් දැං හරි පැහැයයි අප්පච්චී
ඇහැල ගහේ මල් පිපිලද තේරෙන්නෑ අප්පච්චී

ලුණු මිරිසුයි බතුයි කන්ට බැරිව අඬනවා හිච්චී
කිරි උගුරක් බොන්ට දෙන්ට පිච්චිය නෑ අප්පච්චී
බුදුං පඬුරු අරගත්තට තරහ වෙයිද අප්පච්චී
හොරෙං නෙවෙයි මල් මිටකුත් පුදල ගත්තෙ අප්පච්චී

කෙලිච්චියෝ බලාගන්ට මං බය නෑ අප්පච්චී
ඒත් අම්ම නැති තනිකම මකන්ට බෑ අප්පච්චී
උඹ ගැන ගම්මුංගෙ කතා මං දන්නෑ අප්පච්චී
එක දොහකට ඇවිත් යන්ට එනවද මයෙ අප්පච්චී


පිංතූරය මෙතැනිනි..

Comments